Thursday, June 17, 2010

01. වන්නුපථ ජාතකය


  01. වන්නුපථ ජාතකය   

අපගේ සම්මා සම්බුද රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ භාවනා කිරීම් සහ මහන දම් පිරී‍ම් හී වීරිය අත්හළ එක් භික්ෂුවක් අරභයා මේ පෙර සිදුවීම (ජාතක කථාව) වදාළ සේක.

සැවැත් නුවර වාසය කළ එක් කුල පුත්‍රයෙක් ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේගේන් ධර්මය අසා මහණව උපසම්පදා වුනා. මේ භික්ෂුව වනගත පෙදෙසක වසමින් මාර්ගඵල උපදවන්නට උත්සහ ගත්තා. එහෙත් ඒක සාර්ථක වුනේ නැති නිසා "මම මේ වනගත වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ" කියලා  ආපසු ජේතවනාරාමයට පැමිණීලා සුවසේ වාසය කරන පටන් ගත්තා. භාවනාවට ගත් වීරිය අතහැර මේ භික්ෂුව පැමිණී බව දැනගත් අනිත් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේව බුදුරජාණන් වහන්සේ ළගට රැගෙන ගියා. සම්බුදු රජාණන් වහන්සේට ඒ විස්තරය සැල කළා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ ගැන විමසා සිටියා " පින්වත් භික්ෂුව, හැබෑද මේ කියන කථාව? ඔබ වීරිය  අත් හැරලා ඇවිත් කියන්නේ ඇත්ත ද?" . " ස්වාමීන් එය සැබෑවක්, මම පැවිදි උපසම්පදා වී වනගත වූනේ මාර්ග ඵල උපදවා ගැනීමේ අදහසින්. ඒත් ඒ අරමුණ ඉෂ්ඨ උනේ නැහැ. ඒකයි මම ආවේ" ඒ භික්ෂුව  පිළිතුරු දුන්නා.

"පින්වත් භික්ෂුව, ඔබ අද මෙසේ වීරිය අත්හැරියට, අතීතයේ ඉතා වීර්යවන්තව, කාන්තාරයක ගමන් කරමින් සිටි පන්සියයක් ගැල්වල ගිය ජනයාට සහ ගවයන්ට ජලය සපයා දී ඒ හැම විපතකින්ම බේරා ගත්තා" යි බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට වදාළා.

ඉතින් මේ අතීත කථාව දැනගැනීම පිණිස වදාරණ සේක්වා යි භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළා. ඒ ආරාධනාව පිළිගෙන බුදුරජාණන් වහන්සේ මේ අතීත සිදුවීම වදාළා.

එක්තරා කාලයක බරණැස නගරයේ බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් සිටින සමයේ අපගේ මහ බෝසතාණන් වහන්සේ තවලම්  හිමි වෙළද කුලයක උපන්නා. මේ බෝසත් වෙළෙන්දා ගැල් පුරවාගෙන ඉතා ඈත ප්‍රදේශ වලට බඩු රැගෙන ගොස් විකුණා ලාභ උපයමින් දැහැමින් වාසය කළා. දවසක් මේ බෝසත් ගැල් නායකයා පන්සියයක් ගැල් සමගින් ඉතා ඈත ප්‍රදේශයකට ය යන ගමනේ දී කාන්තාරයක් මැදින් යන්නට සිදුවුනා.  දහවල් කාලයේ ගොඩාක් රස්නේ නිසාත්, කාන්තාරයේ වැලි රත්වන නිසාත්, හිරු එළිය නිසාත් ඒ කාන්තාරය හරහා ගැල් ගමන් කරන්නේ රාත්‍රී කාලයට. එහෙම ගමන් කරලා හිරු උදාවෙනවිට ගැල තැනක නවතා ගොනුන්ට තණ කවා පැන් දී ,පිරිසද උයා පිහා ආහාර ගෙන ගැල සෙවනේම නිදාගෙන හිරු බැස ගිය විට ආපසු ගමන පටන් ගැනීම සාමාන්‍ය සිරිත යි.
ඒ කාලේ එහෙම රෑට ගමන් කරන්නේ අහසේ තාරකා දිහා බලාගෙන. ඉදිරියෙන් යන ගැල් නායකයා තරු ලකුණු බලමින් නියමිත මාර්ගයේ ගමන් කරන විට අනිත් ගැල් ඒ පසු පස යෑමයි සිදු කලේ.
ඉතින් ඒ විදිහටම බෝසත් ගැල් නායකයාත් තමන්ගේ පන්සියයක් ගැල්ද සමගින් කාන්තාරය හරහා ගමන් කළා. ගමනේ යොදුන් හැටක් පමණ නිමාකොට අලුයම එක් තැනක නවතා සුපුරුදු පරිදු කා බී රාත්‍රියේ ආපසු ගමන ආරම්භ කරන්න පටන් ගත්තා. 

" අපට තව ගෙවන්නට තියෙන්නේ එක් රාත්‍රියක ගමනක් විතරයි. ඒ නිසා ගැල් වල පුරවා ඇති වැඩිපුර ජල බදුන් හිස් කර ගැල් සැහැල්ලු කරගෙන ගමන යමු." යි කියු බෝසතානන් වහන්සේ ගමන් ආරම්භ කළා. දින කිහිපයක් නොනිදා සිටි බෝසතුන්ට ඉක්මනින්ම නින්ද ගියා. ගැල මෙහෙයවීමක් නොමැති නිසා ගවයාත් ගැල ඇදගෙන ආපසු වටෙන් කැරකිලා රාත්‍රිය ගතකරපු තැනටම පැමිණියා. අරුණෝදයේ නින්දෙන් ඇහැරුන බෝසත් වෙළෙන්දා සිදුවී ඇති දේය වටහාගෙන ගැල නතර කළා. ඉර උදාවෙලා බලන විට අපි ආපහු හිටපු තැනමයි කියලා අනිත් ගැල් පදවන්නන් කණගාටුවුනා. රැගෙන ආ ජලයත් දැන් නැති නිසා ගොඩාක් කණගාටුවුනා.
 බෝසත් ගැල් නායකයා " මම වීරිය අත් හළොත් අනිත් හැමෝමත් විනාශ වෙනවා " කියා සිතලා උදෙන්ම අවට පරික්ෂා කළා. ඔහුගේ තියුණු දෑසට අසල වැවී තිබූ ඊතණ පදුරක් හසුවුනා. මෙතන මේ ඊතණ පදුර වැවුනේ පොළව යට ඇති දිය සීරාව නිසා යි අනුමාණ කළ බෝසතාණන් , උදැල්ලක් ගෙන සේවකයන් ලවා එතන හාරන්ට පටන් ගත්තා. ඉතින් හාරගෙන හාරගෙන යනකොට මේ අයට ලොකු කලු  ගලක් අහුවුනා. 

"අපි ගත්ත උත්සහය වැඩක් නැහැ, මෙතන වතුර නැහැ" කියා අනිත් අය ‍දුකෙන් කෑගසන්ට  පටන් ගත්තා.

ගලට යටින් ජලය තියෙන්න ඕන කියා සිතූ බෝසත් ගැල් නායකයා වලට බැස එහි හමුවු ගල් තලාවට කණ තියලා බැලුවා. ඇත්තටම ඒ යටින් ජලය යන ශබ්දය ඔහුට ඇසුනා.

බෝසත් ගැල් නායකයා තමන්ට ගොඩාක්ම ළෙන්ගතු අතවැසි පුරුෂයා කැදවා, " දරුව, ඔබත් අනිත් අය වගේ වීරිය අතෑරියොත් අපි හැමෝම විනාශ වෙනවා. ඔබ වීරිය අරගෙන මේ කුළුගෙඩියත් රැගෙන අර වළට බැහැලා ගල් තලයට පහරවල් කීපයක් ගසන්න" යි කීවා.

අනිත් හැමෝම වීරිය නැති කරගෙන සිටි වේලේ  තමන්ගේ නායකයාගේ ධෛර්යය අරගෙන ඒ සේවකයා වලට බැස්සා. බැහැලා කුළුගෙඩියෙන් ගල් තලයට පහර දෙද්දී ඒ ගල් තලාව බිදී ගිහින් එතැනින් විශාල දිය කදක මතු වුනා.

පිරිස ගොඩාක් සතුටට පත් වෙලා ඒ ජලය පානය කර, නා ගෙන, ආහාර පාන උයාගෙන, කා බී සතුටු වෙලා, ගොනුන්ද නාවා, තණ කවා සුවසේ ගතකළා. බෝසතානන් වහන්සේගේ උපදෙස් වලට අනුව ඒ මාර්ගයේ යන එන අයට ඒ ළිද තියෙන තැන දැනගන්නට ඒ ස්ථානයේ කොඩියක් හිටෙව්වා. ඉතින් ඉර බැහැගෙන ගිය පසු ආපසු ගමන ආරම්භ කළා.

පසුදා උදෑසන වනවිට තමන්ට අවශ්‍ය ප්‍රදේශයට යන්නට ගැල් නායකයටත් ගැලටත් පුලුවන් වුනා. එහිදී බඩු විකුණා ලාභ ලබාගෙන ආපසු බරණැස් නුවරට පැමිණියා. ඒ හැමෝම පින් කම් ආදිය කර ගනිමින් දැහැමි ජීවිතයක් ගෙවා මිය පරලොව ගියා.

බුදුරජාණන් වහන්සේ " පින්වත් මහණෙනි, යම් සේ ඒ ගැල් නායකයා වීර්ය වඩා නුවණින් කටයුතු කර කාන්තාරයේදීත් ජලය සොයා ගත්තානම්, ඒ ආකාරයටම වීරිය වඩා සසුනේ සිත් අලවා වාසය කරන භික්ෂුව සැනසීම ලබන්නේ ය" යනුවෙන් වදාළා.

" එදා නොපසුබට වීර්යයයෙන් ගල් තලය බිද ජලය ඉපැදවූ පුරුෂයා අද වීර්ය හැර සිටි මේ භික්ෂුවයි. තවලමේ සිටි සෙසු පිරිස මෙහි සිටින අනිත් භික්ෂු පිරිසයි. එසමයෙහි නුවණැති ගැල් නායකයා වූයේ දැන් සම්බුද්ධත්වයට පත්ව සිටින මම් ම වෙමි" යි කියා  අපගේ බුදුරජාණන් වහන්සේ  අතීත කථාවත් වර්තමාන කථාවත් ගලපා වදාළා.

දේශනාව අවසානයේ පසුබට වීරිය ඇතිව සිටි ඒ භික්ෂුව අරහත් භාවයට පත් වුනා.

නුවණ සහ ධෛර්යය ඇති විශිෂ්ට නායකයෙකුට තමනුත් ආරක්ෂා වී අන්‍යනුත් රැකගත හැකි ය.


No comments:

Post a Comment